Tuesday, September 22, 2009

නෙට්බුක් Hands-on

පහුගිය දවස්වල අතගාපු ‍(Hands-on) මිනි නෙට්බුක් තමයි මේ තියෙන්නේ. මේ පරිගණක පිලිබද මට ලැබුණු අත්දැකීම් තමයි පහත දැක්වෙන්නේ.

මේ නෙට්බුක් වල තියෙන පොදු ලක්ෂණ තමයි Atom Processorයක් සහිත වීම, 1GB රැම්, වයර්ලස්, බ්ලූටූත්, වෙබ්කැම්, 3 cell බැටරි, 10.xx LCD තිරයක් සහිත වීම,වින්‍‍ඩෝස් XP සහ CD/DVD ROM රහිත වීම.


Compaq Mini

- සාමාන්‍ය නෙට්බුක් එකක්. මැට් (නොදිලිසෙන) තිරය සිත්ගන්නාසුලුයි. Touchpad භාවිතය අසීරුයි. මිල රුපියල් 50,000ක් පමණ.

------------------------------------------------------------------------------------------------


HP Mini

- නෙට්බුක් පරිගණකයකට අවශ්‍ය හොදම Built Quality එක මම දැක්කේ මේ HP එකෙන්. යතුරු පුවරුව අනර්ඝයි. මෙටලික් නිමාවක් සහිතයි. වයර්ලස් සහ Power On/Off ස්ලයිඩර් අසාර්ථකයි. මිල රුපියල් 56,000ක් පමණ.


------------------------------------------------------------------------------------------------


Dell Mini

- පිටත පෙනුම අලංකාරයි. ඒත් අනෙක් නෙට්බුක් දෙකටම වඩා ‍වේගය අඩු බවක් දැනුනා. සයිලන්ට් යතුරු පුවරුව සුපිරියි. පිටත කවරය විවිධ වර්ණ වලින් ලබාගත හැකියි. මිල රුපියල් 50,000ක් පමණ.

------------------------------------------------------------------------------------------------

මා අත්දැකපු විදියට නම් මේ මිනි පරිගණක වඩාත් සුදුසු අන්තර්ජාල සැරිසරන්නත්, වර්ඩ් ප්‍රොසෙසින් වැනි Office පැකේජ වල වැඩ කරන්නත් විතරයි ( Office 2007 වලදි යම් පසු බෑමක් සහිතව) ඒ වගේමයි නිතර ගමනේ යෙදන අයට වඩාත් උචිතයි. මෙහි එන රැම් මතකය බොහෝවිට මව්පුවරුවට ස්ථිරවම සම්බන්ධ කර තිබෙන නිසාත් වැඩිපුර රැම් යෙදිය නොහැකි නිසාත් කිසියම් අවදානමක්ද සහිතයි.

(නමුත් Acer Aspire one මිනි පරිගණකය රැම් මතකය වැඩි කිරීමට එක් ස්ලොට් එකකුත් වයර්ලස් අන්තර්ජාල පහසුකම් සදහා සිම් පතක් එක්කිරීමටත් හැකියි)

** මෙහි දක්වා ඇති අදහස් මා ලද අත්දැකීම් මත ලියවුනු එකක් වන අතර භාවිතයේදී ඔබ ලබන අත්දැකීම වෙනස්විය හැකියි.

ඡායාරූප Nokia N70 - ස්තූතිය රුවන් මිතුරාට

~

Wednesday, September 16, 2009

කුඩ්ඩා...


විභාගෙට ටික දවසයි...

මම හවස පංති යන ගමන්...

නාදුනන රුවක් මං ඉදිරියේ පංතිය පෙනෙන මානයේ හිටගෙන...

තරුණයෙක්... හැඩිදැඩියි...

මල්ලී, මෙහෙට එනවා
තමුසේ කොහෙද යන්නේ ක්ලාස්ද?
ඔව් ඇයි අයියා..?
ඇයි.... මේ තමුසෙලග තියෙන සල්ලිවලින් රුපියල් 10ක් දෙනවා
මම ලග තියෙන්නෙම 10 නෙ...
බොරු කියන්න එපා..
ගන්නව තමුසෙගේ පර්ස් එක ... කෝ බලන්න
මේ තියෙන්නේ 100ක්ම ...
ඔය ක්ලාස් එකේ සල්ලි
ක්ලාස් එකට පස්සේ දෙනවා
එහෙම කරන්න එපා අයියා ගෙදරින් ආයෙ ඉල්ලන්න බෑ නේ..
හරි හරි තමුසෙ යනවකෝ සල්ලි පස්සේ දෙනවා ක්ලාස් එකට
මගේ සල්ලි දෙන්න
තමුසෙට ආයෙත් මෙතන පහුකරලා යන්න ඕනේ නම් හොද හිතින් දැන් යනවා...
මගේ ඇස් බොද වෙයි..

මේ රකුසා මගේ සල්ලි දෙන්නේ නැති පාටයි. මම එතැනින් යන්න ගියෙමි


අවුරුදු 4 කට පසු...

බොරුල්ලේ බෝ ගහ ඉදිරිපිටදී...

මම වැඩ නිමවී ගෙදර එන ගමන්...

ඒ රකුසාම....

ආහ් මගේ සුදු රත්තරන් මල්ලී දෙවියෝ දැක්කා වගේ
මම ‍මේ ලගකට ආවා.
බලන්නකෝ මගේ පර්ස් එක දාලා ඇවිත්නේ ...
ගෙදර යන්න බස් එක ගන්න බැරුවයි ඉන්නේ ...

දෙකට නැමී මගේ දෙපා අල්ලයි.

වටේ පිටේ මිනිස්සු හැරී බලයි.

මම ඔහු දෙස බලා සිටියෙමි...

කලින් තිබූ තරුණ කම දැන් වැහැරී ගොසින් මහල්ලෙකුගේ පෙනුමක් ඇවිත්...

මම පොලිසිය දෙස බැලීමි...

ම ඉදිරිපිට වු මිනිසා වෙවුලයි

ඒ බඩගින්නට, රෝගයකට, නොව

මත්කුඩු හිග කමින්බව හොදින්ම දනිමි

සතයක් වත් නොදී වදනක් වත් නොකියා...
මම ඊලග බසයට නැගුනෙමි

Friday, September 4, 2009

රාමසාන් මාසෙ ඇවිත්...




ඔන්න දෙවැනිවතාවටත් මම කටාර් ඉදන් රාමසාන් සමරනවා... ලංකාවේදි නම් රාමසාන් අපට තවත් දවසක් වුනත් මෙහෙ වගේ මුස්ලිම් බහුතරයක් ඉන්න අරාබි රටක මේ මාසය ඉතාමත් වැදගත් උත්කර්ෂවත් ලෙස සමරනවා. මේ කාලය හරියටම දින 30ක්. මේ දින 30 ඇතුලත සියලු මුස්ලිම් භක්තිකයන් ලෝකයේ ඉන්න කන්න වේලක් නැති දුප්පත් ජනතාව විදින දුක තම ශරීරයට ලබා දෙනවා.


ඔවුන් උදෑසන හිරුකිරණ පොලවට පතිත‍වෙන්නට පැයක මත්තේ සිට හැන්දෑවේ හිරුබැසයනතෙක් නිරාහාරව සිටිනවා. මේක Fasting කියල හදුන්වනවා. අපි දන්න බාසාවෙන් නම් ‍නෝම්බි අල්ලනවා කියන්නේ මේකටයි. මෙහිදී ඔවුන් වතුර තියා කෙල පිඩක් වත් උගුරෙන් පහලට යවන්නේ නෑ. මුස්ලිම් ආගමේ නියම කරලා තියෙන්නේ එහෙමයිලු. මේ වගේ කාන්තාර රටක මෙහෙම ඉන්නේ කොහොමද කියල මටනම් හිතාගන්නත් අමාරුයි.

හැබැයි ශාරීරිකව දුබලතා ඇති අයට ආහාර ගැනීමට බාධාවක් නෑ.

මේ රටේදි නම් ලංකාවේ වගේ සෙල්ලම් බෑ. මේ කාලය තුල අන්‍යාගමිකයන් පවා ප්‍රසිද්ධ ස්ථානවල ආහාර ගැනීමෙන් වලකින්න ඕනා. සංවරව ඇදුම් අදින්න ඕනා. නැත්නම් නවතින්නේ පොලිසියේ තමයි.

රෝමෙට ගියාම ඒ විදියට ඉන්න කියලා කතාවක් තියනවානේ. අපිත් ඉතින් ඒ වගේ තමයි. ඒත් මේ සහජ බඩගින්න නම් නැති කරගන්න බෑ. ඉතින් මුස්ලිම් අය ඇරෙන්න අනෙක් අය කෑම කාමරයේ හරි කුස්සියට වෙලා හරි බඩපුරෝගන්නවා. ඒ තැන්වලට මේ කාලය තුල අපේ මුස්ලිම් සහෝදරයෝ එන්නේ නැති නිසා හොදයි.


ඒ කෙසේ වෙතත් එයාලා හවස Break Fasting කරද්දී අපි එතන ඇති. කොයි තරම් බඩජහරි කමක්ද ?
ඒ වගේමයි නියමිත වෙලාවට හැමෝම මුස්ලම් පල්ලියට යනවා. ආහාර ගන්නවා හැබැයි බඩගින්නේ හිටියා කියලා මහ ගොඩක් කන්නේ නෑ. මොකද කොච්චර බඩගිනි වුනත් කන්න පුලුවන් බඩේ තරමට නේ. කෑම විශේෂයක් නෑ, බත්, බේකරි ආහාර, රොටී සහ කැද වගේ දේවල්... රට ඉදිනම් අනිවාර්යයි.


කොහොම නමුත් මේ අමාරු දවස් ටිකේ අපටත් දවසට පැය 6යි වැඩ. හවස් වරුව නිවාඩු. රාමසාන් උත්සවය දවසෙ ඉදන් දින 3ක් සම්පූර්ණයෙන්ම නිවාඩු. ඒත් මොනා කරන්නද? නිවාඩු දවසක් ගත‍ වෙන්නේ හරිම හෙමින්... වැඩ කරන දවසට ඉක්මනින් පැය 8 ගෙවිලා යනවා.


ලබන අවුරුද්දේ රාමසාන් කාලෙට මේ ලිපියත් රටත් මට ආයෙත් මතක් වෙයි...

මොකද ඒ වෙනකොට මම ලංකා‍වේ නිසා.














Wednesday, September 2, 2009

ඔපෙරා 10

මගේ ප්‍රියතම වෙබ් බ්‍රව්සරය වෙන ඔපෙරා වල අලුත්ම සංස්කරණය ඔන්න අද නිකුත් වෙලා. මේ වෙබ් බ්‍රව්සරයේ ජනප්‍රියත්වය අඩු වුනත් (ඒකට හේතුව මේක නිදහස් මෘදුකාංගයක් වුණාට ගිනි හිවලා වගේ භාවිතාකරන්නන්ගේ යෝජනා චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම ඉතා පහල වීමයි) වේගය අතින්නම් විශිෂ්ඨයි.
මෙතුවක් කල් තිබුණු 9.xx වෙලුම අයින් කරලා මමත් දාගත්තා ඔපෙරා 10.


මෙගා බයිට් 8.5 තරම් වන ස්තාපනය මෙතනින් බාගන්න.

අලුත් වෙලුමේ පැහැදිලි දෘශ්‍ය වෙනස් කම් සහිත වන අතර වේගයෙන් අඩු ඉන්ටර්නෙට් සබදතා සදහා Turbo mode එකක්ද සහිතයි.
ඊටත් අමතරව Quick Dial මුහුණත වෙබ් පිටු 25ක් දක්වා යෙදිය හැකියි. මීට අමතරව Dictionary පහසුකම, විජට්ටු පහසුකම සහ ඉන්ටර්නෙට් වේගයෙන් සැරිසැරීමට අවශ්‍ය බොහෝ උපාංග (Mouse Gestures) වලින් සමන්විතයි.

හැමදාමත් අපි භාවිතාකරන බ්‍රව්සර් වලට අපි හුරුවෙලා ඒවා හොදයි හොදයි කිය කිය ඉන්නේ නැතිව මේවගේ වෙනසක් උත්සාහ කරලා බලන එක හොදයි කියලයි මට හිතෙන්නෙ...