Wednesday, March 3, 2010

ඉතින් ආයුබෝවන්....!


දන්නෙම නැතිව අවුරුදු 2ක් ගෙවිලා ගිහින්. ( ඇත්තම කියනවනම් අවුරුද්දයි මාස 8ක්). යස ඉසුරු සොයන් මම මෙහේ ආපු හැටි ඔයාලට මතක ඇතිනේ. ඒ එද්දී මගේ හිතේ තිබුණා යම් ඉලක්කයක් මා සපුරාගත යුතු යයි සිතන. 100%ක්ම නැතත් මම ඒ ලගටම ආවා. නමුත් ඒ එක්කම තවත් ප්‍රශ්ණ වැලක් පැන නැගිලා. මට තේ‍රුණු විදියට මේක තමයි ජීවිතේ කියන්නේ අපට කිසිම ප්‍රශ්ණයක් ගැටලුවක් නැත්නම් කිසිම දෙයක් වෙන එකක් නැහැ.


ඒ කොහොම නමුත් මේ රටේ හිටපු කාලය තුලදී මම අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඇත්ත කතා කරන්න (ලංකාවේ ඉදිද්දී සෑහෙන්න බොරු කියවෙනවා, මිනිස්සුන්ට පැහැදිලි කරන්න වෙන විදියක් නැති වුනාම බොරු කියන්න වෙනවා), පිලිවෙලකට වැඩ කරන්න, මගේ අයිතිවාසිකම් මට ලබාගන්න, තට්ට තනියෙන් ඉන්ටර්නෙට් විතරක් ඇතිව කෑම පවා නොගෙන ජීවත්වෙන්න, අන්තර්ජාලයෙන් ලමයි නළවන්න,මෙකි නොකි දහසක් දේවල්.... කවුදෝ කිව්වා වගේ ඉගෙනීම නවති‍න්නේ මළ දවසට තමයි.


ඒ වගේමයි මම මේ ලියන හැම අකුරක්ම හරහා SBU එකට ස්තූතිවන්ත වෙනවා. සිංහල වලට මම මේ තරම් ආසයි කියලා මටම දැනුනේ මම බ්ලොග් කියවන්නත් ලියන්නත් පටන්ගත්තයින් පස්සෙ. දැනට අවුරුද්දකට කලින් පටන්ගත් ‍බ්ලොග් ලියවිල්ල අද වෙනකොට කොයි තරම් ඉදිරියට ඇවිත්ද කොයිතරම් දියුණු වෙලාද කියලා මට පේනවා. මං මීට පෙර කොයිතරම් අන්තර් ජාලයේ සමාජ ජාලයන් වල සැරිසැරුවත් මේ තරම් සංවිධානාත්මක, තමන්ගේ අරමුණ කරාම නොසැලී යන, දිනෙන් දින දියුණුවෙන එකම සංසදය, සමාජ ජාලය SBU එක පමණයි.මෙයින් මා ඉගෙන ගත් දේ බොහෝයි. බොහෝ විට මම නම් සංසදයට මුල්දින වල ආවේ ලංකාවේ යාලුවො නැති පාලුව නැතිකරගන්න වුනත් එයින් ඔබ්බට මට යම්දෙයකට දායක වෙලා ඉගෙනගෙන, ඒක විදින්න ලැබුනා කිව්වොත් නිවැරදියි. ඒ වගේමයි කිසි දිනක නොදුටු බොහොම සුන්දර, උගත් නියම මිතුරන් රැසක් මට ලැබුනා.


පිටරට ඉදිද්දී දැනෙන මට දැනුන ලොකුම පාලුව ගෙදර අයගෙන් ආදරණිය බිරිදගෙන් දරුවගෙන් ඇත්වෙලා ඉන්න එක. ලංකාවෙදී කොහොම හිතුනත් ඒක සෑහෙන්න බලපානවා රට ආවාම. ඔබ පිටරටකට යනවානම් ටික කලකට හෝ යමෙක්ගෙන් යැපෙන්න බලා පොරොත්තු වෙන්න එපා. ඒ වගේමයි උපයන මුදල් මේ ‍රටේදීම වැයකරන්න තියෙන අවස්ථා එමටයි. හැබැයි ඔබගේ මුලික පරමාර්ථය අමතක කරන්න එපා (කාලිංගට SBU අමතක නොවෙනව වගේ !)


ඉතින් දැන් වැලිකතරට ආයුබෝවන් කියලා යන්න වෙලාව හරි. ලංකාවෙන් එද්දී මගේ බලාපොරොත්තු අවම කරන් ආපු නිසා හිතේ කිසිම දුකක් නැතිව මම ආයෙත් ලංකාවට යනවා. මං ඉපදුනු ඒ රට කොයිතරම් සුන්දරද කියලා අපේ බ්ලොග් අවකා‍ශයේ පිටරට ඉන්න මිතුරන් හොදින්ම දන්නවා. ඉතින් ආයෙත් ඒ සුන්දර රටට පයගහන්න මට තියෙන්නේ තව පැය කීපයක් විතරයි. වැලිකතරේ ආයෙත් ලියවෙන එකක් නැහැ. ඒ මම හෙට ඉදන් ඉන්නේ වැලිකතර‍ක නොවෙන නිසා... මේ බ්ලොග් එකේ නොයෙකුත් විදියේ ලිපි ලියවුනා. ඒ ලිපි වලට මට ලැබුනු ප්‍රතිචාර මාව දිරිමත් කලා. ඉතින් වැලිකතරට මෙතුවක් කල් ප්‍රතිචාර දුන්, මගේ බ්ලොග් හැමදාමත් කියවපු, මා පසුපස හඹා ආ, පෞද්ගලිකවම මාව සම්බන්ධකරගෙන යාලුවො වුනු ඔබ සැමට ස්තූතියි.


එහෙනම් ආයෙත් SBU බ්ලොග් අවකාශයේ හමුවෙන තුරු ඔබට ආයුබෝවන් !


(කරන්න වෙන වැඩක් නැත්නම් මෙතනට ගිහින් ඔලුව අවුල්කරගන්න)


මෙන්න මටම හරියන සිංදුවකුත් ලැබුණා.



කාලිංග, ඉන්ද්‍රනාම (තාක්ෂණික), සහ දුකා(මානසික) කල උදව් විශේෂයෙන් මතක් කරමි.

~