Monday, December 14, 2009

මට ගමට යන්න... කුරුලු පිහාටුවක්...


 මං ආයෙත් අතීතෙට ගියා. 1980 ගණන් වල අම්මයි මායි තාත්තයි මාතර යනව මට යන්තම් මතකයි. ලංගම බස් එකක්. ඒත් මම හරි ආසයි බස් එකේ යන්න ඒ දවස්වල. ගමේ නැන්දලා මාමලා මාව පිලිගන්නේ හරිම හරසරින්. මං කන්න ආසම කිරිපැණි නොවැරදීම ලැබෙනවා එහෙ ගියාම.

ඒ දවස්වල අපේ සීයත් හිටියෙ මාතර. සීයා මා එක්ක වෙලට යනවා සමහර හැන්දෑවල. ඉර බැහැගෙන යද්දී ගොයම් කපපු වෙල් එලියේ මම සෙල්ලම් කලා. සීයා එක්ක ඔරු පැද්දා. කලුමාමා එක්ක දං කඩන්න ගියා. බෝවිටියා කැඩුවා. දවසක් එහෙම ගිහින් මහ වැස්සකට කොටුවෙලා බකිනි ගහක් යට තෙමි තෙමි හිටියා මට හොදට මතකයි. ගොයම් කපලා වේලිච්ච කුඹුරට වැටුනු වැහි පොද නිසා ආපු නැවුම් සුවද.... මේවා නිකන් හිතින් මවා ගත්ත ඒවා නෙමෙයි. මගේම අත්දැකීම්...

වයස අවුරුදු 13-14 වෙද්දී මං පාසල් නිවාඩු කාලෙම ඉන්නෙ ගමේ. මට ගමේ වෙනමම යාලුවො රොත්තක් හිටියා. ඇත්තටම ඒ යාලුවො කොලඹදී මට හම්බවුනු යාලුවන්ට වඩා සෑහෙන්න වෙනස්. කොලඹ යාලුවො ප්ලාස්ටික් නලා පිඹිද්දී ගමේ යාලුවො මට ගොයම් ගස් වලින් නලා හදලා දුන්නා. ඒ නලාවෙන් ආපු සද්දේ කොලඹ නලාවෙන් එන සද්දෙට වඩා හරිම ලස්සනයි. කාලය වේගයෙන් ගතවුනා. ටිකෙන් ටික නිවාඩුවට ගමේ යාමත් නැති වෙලා ගියා. හැම දෙයක්ම සංකීර්ණ වුනා. අන්තිමේදී රැකියාව කරන්න ගත්තම ගමත් මගේත් අතර තිබුණු ඒ සම්බන්දය වියලිලාම ගියා.

එදා මම වෙල්යායේ ඉදන් ගමේ මහ ගෙදරට එද්දී පහුකරන් ආපු හැම සෙන්ටිමීටරයක්ම දැන් වෙනස් වෙලා. රැකියාව කරද්දී කොයිතරම් වාරයක් මාතර ගියත් මට ගමේ ගෙදරට ගිහින් එන්න නිදහසක් තිබුනෙ නැහැ. (ඇත්තෙන්ම උවමනාවක් තිබුණත් නිදහසක් නැහැ) කොයිතරම් යාන්ත්‍රික වෙලාද... වගකීම් දාහක් හිතේ තියන් යන්ත්‍රයක් වගේ වැඩ කලා.

ඒ හැමදේම කරලත් අද, මම(අපි) මට නොලැබුනු දේ මගේ(අපේ) දරුවට දෙන්න උත්සාහ කරනව. ඒ මගේ දරුවට කවදාවත් මම ඒ ලබපු අත්දැකිම් විදින්න ලැබෙන්නෙ නැහැ. මේක චක්ර්යක් වගේ මගේ පියා ලබපු දේ වලින් 1% වත් මම විදිල නැතුව ඇති. ඒ වගේම මම විදපු විදින අත්දැකීම් මගේ දරුවට ලැබෙන්නේ නැති තරම්, ලැබුනත් ඒ කොයිතරම් කෘතිමවද?

බොහොම දෙනෙක්ට තමන්ගේ ජීවිතේ සුන්දරම කාලේ තමාගේ පාසල් කාලය.... ඒත් මටනම්... මගේ සුන්දරම කාලය තමා මං ‍ගමේ ගතකරපු ජීවිතය...


~

Wednesday, December 2, 2009

සීත කාලේ ඇවිත්


Thanks for Geeker

ඔන්න ගිනි කාෂ්ඨකේ අඩුවෙලා සීත සුලං හමන්න පටන් අරන්. හරියටම දෙසැම්බර් 1 වෙනිදා වෙනකොට පරිසරයේ උෂ්ණත්වය 22 බැහැලා. උදේ එලියට බැස්සම නුවර එලියෙ වගේ සීතලයි. හවසට නම් හොදටම වැඩියි. මේ මං අත් විදින දෙවන ශීත සෘතුව කටාර්වලදී.



ගහ කොල වලට වුනත් අලුත් පණක් ඇවිත් කුරුලු සද්ද හැම තැනම. මේ වෙනස හොදට තේරෙනවා අපට නම්. අහසත් වලා කුලෙන් බරයි. ගිය අවුරුද්දෙනම් දුවිලි කුණාටු ඇවිත්, වැහැලා ලොකු වෙනසක් වුනා. ඒ මේ සැරේ නම් එහෙම නෑ. හැබැයි සීතලනම් වැඩිවෙයි වගේ.

මේ කාලෙට පාරවල් වල උදේට ඇවිදින ලොකු කලු වලස්සු වගේ නෝනලා ඒවගේම පැස්බර බිත්තර වගේ මහත්වරු පදික වේදිකාවල සුලබයි. ඒ එයාලා ව්‍යායාම වලට ඇවිදිනවා. නගර අලංකරන කටයුතු නැවත අලුත් වෙනවා. හැම තැනම මල් ගස්.

ශීත කාලෙටම බිහිවෙන වෙලාදාමක් වෙන ජැකට් කබා හැම ඉන්දියන් ඇදුම් සාප්පුවකම වගේ. රස්නෙ කාලෙට වේලාසනින් ඉර පෑව්වා වගේ සීත කාලෙට හවස 4.30 වෙද්දී ඉර බැහැලා ගිහින්.

වෙනදා දකින්න නැති යාන වාහන වෙන 1000CC වලට වඩා වැඩි මෝටර්බයිසිකල්, කන්වර්ටබල් කාර්, වගේ ඒවා.

මේ සීත කාලය මාස 2ක් තමයි උපරිම විදින්න පුලුවන් ආයෙත් පරණ පුරුදු විදියට පිච්චෙන්න.


~