Tuesday, February 23, 2010

නොබැලූ ලියුම


ආදරණීය අම්මේ, තාත්තේ

මේ ලිපිය ලියන අද මම මැදපෙරදිග වසර පහක් සම්පූර්ණ කරනවා. ලබන මාසෙ ගෙදර එන්නයි හිතන් ඉන්නෙ. කලින් නිවාඩුවට ගෙදර එද්දී වෙච්චි ණය ඔක්කොම ගෙවලා ඉවරයි. මේ නිවාඩුවත් එක්ක මම ගෙදර නවතින්නයි හිතන් ඉන්නෙ. මම ආයෙත් මෙහෙ එන්න අදහසක් නැහැ. මට හොද විශ්වාසක් තියෙනවා මට ලංකාවෙ හොද රස්සාවක් කරන් ඉන්න පුලුවන් වෙයි කියලා.

මේ ගැන ඔයාලත් අදහස් කියන්න.

මීට ආදරණීය,
පුතා.

+++++++++++++++++++++++++++++++++++++++
ආදරණීය පුතේ,

අපට ඔබේ ලිපිය ලැබුණා. ගොඩක් සතුටු වෙනවා ඔයා නිවාඩුවට එන එක ගැන. ඉතිරිය අම්මා ලියාවි. පුතේ, ඔයා දන්නවද අපේ ඉන්න ගෙදර තත්වයනම් බොහොම නරකයි. වැස්ස කාලෙට ගේ ඇතුලෙ ඉන්න තැනක් නැති තරම්. හැමතැනම තෙමෙනවා. වහලය අලුතින්ම හදන්න වෙයි මේ කාලේ ලී වල ගණන් හැටියට ඒක අපිට දරාගන්න බැහැ. හැමෝම කියන්නේ කොන්ක්‍රිට් දාලා උඩ තට්ටුවත් හදන්න කියලා. හරියට ගෙයක් නැතිව මොනව කරත් වැඩක් නැහැ. ඔය රස්සාව නවත්තලා මෙහෙ ඇවිත් ලැබෙන සොච්චම් පඩියෙන් කොන්ක්‍රිට් දාලා ගෙයක් හදන්න පුලුවන් වෙයිද? මම මේක කිව්වෙ ඔයාට මතක් කරන්න. පුතා හොද දෙයක් බලලා තීරණය කරන්න.

ඔබේ ආදරණීය

අම්මා.

+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++

ආදරණීය අම්මේ,

ඔන්න මේ කාන්තාරෙ අවුරුදු දහයක්ම ගතවෙලා අදට. ලබන මාසේ ගෙදර එන්නයි හිතන් ඉන්නෙ. ගේත් හදලා ඉවරනෙ, ඒ‍කට ගත්ත ණය ඔක්කොමත් ගෙවලා ඉවරයි. මේ සැරේනම් ගෙදර ඇවිත් නවතින්න හිතන් ඉන්නෙ. ත්‍රීවීල් එකක් හරි හයර් කරලා ගෙදර වියදම පියවගන්නයි හිතන් ඉන්නෙ. දැන්නම් මෙහෙ ඉදලා එපා වෙලා. මගේ ලමයි එක්ක සතුටෙන් ඉන්න තමයි අදහස.

මේ ගැන ඔයාලගෙත් අදහස් කියන්න.

මීට ආදරණිය
පුතා.

+++++++++++++++++++++++++++++++++++++++

ආදරණීය පුතේ,

ඔයාගේ ලියුම කියෙව්වම හරිම දුක හිතුනා. මගේ පුතා අපි වෙනුවෙන් පොඩි කාලේ ඉදන්ම දුක් වින්දා. මම මේ මතක් කරන්නමයි හිටියෙ ඔයාගේ නංගී දැන් කසාද බන්දලා දෙන්න වයසත් හරි. එයා බන්දල දුන්න නම් මගේ හිතත් නිදහස්. මම මැරෙන්න කලින් එයත් බැදල ඉන්නව දකින්න ආසයි. වැරදියට ගන්න එපා ඒ ගැනත් හිතල බලන්න. ඔයාම තීරණය කරන්න.

මීට
අම්මා.


+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++

ආදරණීය ස????(බිරිද)

අවුරුදු 14ක් ම ගෙවිලා ඉවරයි. දැන්නම් මට මෙහේ තිත්ත වෙලා. තවත් නම් මෙහෙ ඉන්න බැහැ. මගේ වීසා එකත් කැන්සල් කරගෙනම එන්නයි හිතන් ඉන්නෙ. නංගීගේ කසාදයත් හිතන් හිටියටත් වඩා හොදට වුණා. ඒකට ගත්ත ණය ඔක්කොමත් ගෙවලා ඉවරයි. මම මෙහේ වුණු ණයත් ඔක්කොම ගෙවලා ඉවරයි.

ලංකාවට ඇවිත් මොනවා හරි රස්සාවක් කරන්න ඉන්නවා. දැන්නම් බර වැඩ කරන්නත් ආමාරුයි. අධික රුධිර පීඩනයයි දියවැඩියාවයි දෙකම ඇවිත්. ගන්න පඩියෙන් බාගෙකට වඩා බේත් වලට යනවා. ලංකා‍වට ඇවිත් බේත් කරානම් හොදයි.

මීට
ජ????(සැමියා)


++++++++++++++++++++++++++++++++++++++

ආදරණිය ජ????(සැමියා)

ඔයාගේ ලියුම කියවලා මගේ ඇස් වලට කදුලු ආවා. ඔයානම් ආයෙත් රට යන්න එපා. අපි බැන්දයින් පස්සෙ මෙච්චර කාලෙකට මම ඔයාගෙන් කිසි දෙයක් ඉල්ලලා නැහැ. එත් දැන් මට ඔයාගෙන් දෙයක් ඉල්ලන තියෙනවා. ඔයාලගේ අයියා බැන්දයින් පස්සෙ අම්මා සෑහෙන්න වෙනස් වෙලා. එයාලගෙ පැත්ත අරන්. ඒවගේමයි මම අහගෙන මේ ගේ අයියලට ලියල දෙන්න යනවලු. එහෙම වුනොත් මේ දරුවයි මමයි ඉන්නේ කොහෙද, අපිට යන්න තැනක් නැහැ. ඔයාට පුලුවන්නම් අපේම කියලා ගෙයක් හදාගමු. ඔයා දන්නවනේ දැන් සිමෙන්ති, යකඩ බාස් කුලී කොයිතරම් ගණන් ද කියලා. මම මගේ හිතේ තියන දුක කිව්වේ ඔයාත් හිතලා බලන්න.

මීට ආදරණීය
ස????(බිරිද)


+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++

ආදරණීය ස????(බිරිද)

අවුරුදු 19ක්ම ගතවුනා. හිතාගන්නත් බැහැ මෙච්චරකල් හිටියද කියලත් තනියම මෙහේ. කොහොම හරි අපේ ගේත් හදලා ඉවරකරගත්තා. ඒකත් ලොකු දෙයක් නේ. තවත් නම් වැඩකරන්න බැහැ. මම රස්සාවෙන් අයින් වෙන්න කාලේ හරි. අස්වෙනවත් එක්ක ම‍ගේ අතට ලැබෙන මුදලත් හිතන් හිටියට ව‍ඩා අඩු ගානක්. මොනවා කරන්නද, අනික් අයටත් මීට වඩා සලකන්න තිබුනා ටිකක් වැඩිපුර ලැබෙනව නම්. කොහොම හරි මම යමක් කරගත්තනේ ඒ ගැන සතුටුයි. හැබැයි පවුල් ජීවිතයක් තිබුණෙම නැහැනෙ. මම අස්වෙලා ඇවිත් ලමයි, ඔයා, එක්ක ජිවත් වෙන්න ඕනෙ. මේ සැරේ නම් අස් වෙලා තමයි එන්නෙ.

මීට
ජ????(සැමියා)


+++++++++++++++++++++++++++++++++++++++

ආදරණීය ජ????(සැමියා)

ඔයාගේ ලියුම කියෙව්වයින් පස්සේ මම ගොඩක් සතුටුවුණා පරක්කු වෙලා හරි ඔය රස්සාව අත ඇරල එන්න ඔයා ගත්තු තීරණය ගැන. ඒත් පුතා කියනවා එයාට කොම්පියුටර් ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙනගන්න ඔනෙලු. පලවෙනි අවුරුද්දෙ ලක්ෂ හතරයි, ඉන් පස්සේ ලක්ෂ තුන ගානේ අවුරුදු දෙකක්. එකපාරම ඔක්කොම සල්ලි ගෙවන්න ඕනෙ නැහැ. කොටස් වශයෙන් ගෙවන්න පුලුවන්. ලංකාවේ හොදම කොම්පියුටර් ඉංජිනේරුවො ඉගෙන ගෙන තියෙන්නේ ඒකේ. මේ මාසේ 30ට කලින් රෙජිස්ටර් වෙන්න ඕනෙලු.

ළමයගේ අනාගතේ ගැන හිතලා ඉක්මනින් පිලිතුරක් එවන්න.

මීට,
ස????(බිරිද)


+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++

ඉතින් ඔහු තමන්ගේ පුතාගේ අධ්‍යපනය වෙනුවෙනුත් දුවගේ විවාහ මංගල්‍යය වෙනුවෙනුත් අවුරුදු කීපයක් වැය කරලා අවුරුදු 27කට පස්සේ තමන්ගේ ප්‍රතිලාභ විදියට දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ කොන්දෙ අමාරුව කරපින්නගෙන රැකියාවෙන් අස්වෙලා ගුවන් තොටුපලට යන ගමන්, නිකමට වගේ තමන්ගේ කලිසම් සාක්කුවට අත දාද්දී අහුවුනා ඊයෙ පෙරේදාවක බිරිද එවපු ලිපියක්.

ඒක තවමත් කඩලා නැහැ......

ඔහු ඒක අතට අරන් නොකඩාම ආයෙත් දෙකට නවලා සාක්කුවට දාගත්තා.

ඒ ලියුම තමා ඔහුගේ මැදපෙරදිග ජීවිතේ ඔහු නොකියවූ එකම ලියුම...

පිංතූරය මෙතැනින්  http://www.franchisefacts.biz/iStock_frustrated_man_worker.JPG

ගල්ෆ් රේඩියෝ වැඩසටහනකින් ආශ්‍රයෙන් කරන ලද අසංක්ෂිප්ත පරිවර්තනයකි

~

11 comments:

  1. ඕක උඹෙත්, මගෙත් රට රස්සාවට ගිය තව බොහෝ දෙනෙක්ගෙත් කතාව. ඔය තරම් දිග කාලයක් නොහිටියත්, ඉන්න ටික කාලෙට හරි අපිට මගහැරෙන දේවල් බොහොමයි. අපේ ජීවිතේ තමා මේ කාන්තාරෙට දියවෙන්නෙ. කොහොමවුනත් ලියුම් එන්න කළින් ලංකාවට යන්න වගෙයි උඹ නම් හදන්නෙ.. :)

    ReplyDelete
  2. අයියො අයියෙ මෙක කියවපු හාම ඇස් දෙක තෙත් වෙන්න ආවා මට කෙනෙක් මතක් උනා. එයා දැන් මාත් එක්කලා කතා කලා විතරයි. එයත් අවුරුදු ගණනක් ම මැද පෙර දිග වැඩ කරෙ, දුවලා, පුතාලා ඔක්කොම දැන් පිට රට, තාත්තටයි, අම්මාටයි අසනිපයක් උනහම බලන්න කවුරුත් නැහැ.

    ReplyDelete
  3. ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ....
    ඉතින් එහෙනම් අපිත් ඉවාමු දුක්ක ගංගාවෝ...

    ReplyDelete
  4. ඇඩෙනවා... උබටත් මේ දේ වෙන්න කලින් මෙහෙට වරෙන්.............

    ReplyDelete
  5. මේක මචං සිරාම එකක්.....අපේ ඔෆිස් එකෙත් ඉන්නවා මේ වගේ කට්ටිය....අපේ ඔෆිස් බෝයි ඉන්දියානු ජාතිකයෙක්...දැනට අවුරුදු 32ක් මෙහේ සාජා වල වැඩ කරනවා....අවුරුදු 28ක් ම මේ ආයතනයේමයි....
    එතකොට තව කෙනෙක්.....එයාට නංගිලා තුන් දෙනයි.....අපේ රටේ වගේ නෙවෙයිනේ කේරල ප්‍රාන්තයේ...ගැහැණු ළමයෙක් ට රත්තරං පවුම් 100ක් වත් තියෙන්න ඕනේ කසාදයක් කරගන්න....ඒවට මෙයා වියදම් කරලා දැනට දිරාම් 30,000ක් ක්‍රෙඩිට් කාඩ් වලට ගෙවන්න තියනවා.....හැමදාම පොලිය විතරක් ගෙව ගෙවාම ඉන්නවා....තමන්ගේ රටට යන දවසක් ගැන හිතන්නේ නෑ එයා....මෙහේ ජීවත් වෙන ගොඩාක් අයගේ තියෙන්නේ සිහින...ඔය වගේම කඳුළු කතා...

    ReplyDelete
  6. @ කොමා - බලමු මොකද වෙන්නෙ කියලා

    @ රවා - සල්ලි තියේවි එත් මගහැරුණු දේවල් සල්ලි වලට ගන්න බැරි දේවල්‍

    @ NUWAN"s lane - අනිවා!

    @ චින්තක සදරුවන් - මාව බේරගනියෝ!

    @ රංග ප්‍රභාත් ජයසිංහ - ඒවට තව කල් තියෙනවා.

    @ Saman - ඉන්දියානුවන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඇත්තටම මේ කතාව වඩාත් අදාල වෙන්නෙ ඔවුන්ට තමයි. නමුත් අපිටත් වෙන්න යන්නේ මේ වගේ දෙයක් තමයි හරියටම හිතුවොත්....

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මචං හරිම ඛේදජනක තත්වයක්, ඛේදවාචයකය කියන්නේ මේක සත්‍ය්යාක් නිසා. මම කටාර් ඉන්න කලේ මගේ කනෙන් අහපු කතා රාශියක් මට සිහිවෙනවා. එහේදී මගේ යාලුවෙක් නිසා මට පොඩි පොඩි රැකියාවල් කරන විශාල පිරිසක් අඳුනගන්න ලැබුනා. ඒ අය බොහෝ දෙනෙකුගේ කතාව ඕක ම තමයි. ඒ වෙලාවේ අහද්දී අනේ අපොයි කියලා හිතුනාට මේක කියවද්දී තමයි පපුව හෝස් ගාලා ගියේ.

    ඒ අය ඔවුන්ගේ කතා මට කියද්දී "අනේ මල්ලී ජීවිතේ විඳින්නේ නැතුවම ජීවිතේ හොඳම කාලේ මෙහාටම දියවෙලා ගිහින්" කියලා කියද්දී ඔවුන්ගේ මුහුනේ තිබුනේ වේදනා කාරී හැඟීමක් නෙමේ. මගේ ජීවිතේ අනෙක් අයගේ සැපත වෙනුවන් කප කලා කියන තෘප්තිමත් සිනාවක්. ඒත් ඒ තෘප්තිමත් හිනාව මගේ හිතේ හරියට ඊයම් බරුවක් වගේ ඇනිලා තිබිලා තියෙන්නේ. ඒක කොතරම් දුරට ඇනිලාද කියලා පසක් වුනේ මේ ලිපිය කියෙව්ව්වම මචන්. හරිම

    ReplyDelete
  9. නොබැලූ ලියුමෙ රටෙත් ලෝකෙත් ගොඩක් ජීවිත වලට පොදු වුණු කඳුලු කතාව ලියැවිලා... මිනිසුන්ට අනවශ්‍ය ජීවන රටාවකට මුළු ලෝකෙම කැරකිලා තියෙද්දි ඒකෙන් මිදෙන්න ලෝක මහා සංග්‍රාමයන් කරන්න වෙලා... මේ ලිපිය කියවල සංවේදී වීමකට වඩා දෙයක් කරන්න පුළුවන්නම්...!

    ReplyDelete
  10. අගේ ඇති නිර්මාණයක්. !!!
    මේක මැද පෙරදිග ඉන්න අපි කාටත් පොදු දෙයක්. හැමෝටම කරන්න ගිහින් අන්තිමටම අපිට අපි අමතක වෙනවා...

    මේ නිර්මාණය ඊ-මේල් එකකින් ඇවිත් තිබුනා. මගේ හදවතට ඒක ගොඩක් දැනුන නිසා මම ඒක මගේ බ්ලොගයේ පෝස්ට් කලා.. දැන් තමයි කර්තෘ හමුවුනේ..

    ReplyDelete
  11. දුක හිතෙනවා...

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...