Monday, December 14, 2009

මට ගමට යන්න... කුරුලු පිහාටුවක්...


 මං ආයෙත් අතීතෙට ගියා. 1980 ගණන් වල අම්මයි මායි තාත්තයි මාතර යනව මට යන්තම් මතකයි. ලංගම බස් එකක්. ඒත් මම හරි ආසයි බස් එකේ යන්න ඒ දවස්වල. ගමේ නැන්දලා මාමලා මාව පිලිගන්නේ හරිම හරසරින්. මං කන්න ආසම කිරිපැණි නොවැරදීම ලැබෙනවා එහෙ ගියාම.

ඒ දවස්වල අපේ සීයත් හිටියෙ මාතර. සීයා මා එක්ක වෙලට යනවා සමහර හැන්දෑවල. ඉර බැහැගෙන යද්දී ගොයම් කපපු වෙල් එලියේ මම සෙල්ලම් කලා. සීයා එක්ක ඔරු පැද්දා. කලුමාමා එක්ක දං කඩන්න ගියා. බෝවිටියා කැඩුවා. දවසක් එහෙම ගිහින් මහ වැස්සකට කොටුවෙලා බකිනි ගහක් යට තෙමි තෙමි හිටියා මට හොදට මතකයි. ගොයම් කපලා වේලිච්ච කුඹුරට වැටුනු වැහි පොද නිසා ආපු නැවුම් සුවද.... මේවා නිකන් හිතින් මවා ගත්ත ඒවා නෙමෙයි. මගේම අත්දැකීම්...

වයස අවුරුදු 13-14 වෙද්දී මං පාසල් නිවාඩු කාලෙම ඉන්නෙ ගමේ. මට ගමේ වෙනමම යාලුවො රොත්තක් හිටියා. ඇත්තටම ඒ යාලුවො කොලඹදී මට හම්බවුනු යාලුවන්ට වඩා සෑහෙන්න වෙනස්. කොලඹ යාලුවො ප්ලාස්ටික් නලා පිඹිද්දී ගමේ යාලුවො මට ගොයම් ගස් වලින් නලා හදලා දුන්නා. ඒ නලාවෙන් ආපු සද්දේ කොලඹ නලාවෙන් එන සද්දෙට වඩා හරිම ලස්සනයි. කාලය වේගයෙන් ගතවුනා. ටිකෙන් ටික නිවාඩුවට ගමේ යාමත් නැති වෙලා ගියා. හැම දෙයක්ම සංකීර්ණ වුනා. අන්තිමේදී රැකියාව කරන්න ගත්තම ගමත් මගේත් අතර තිබුණු ඒ සම්බන්දය වියලිලාම ගියා.

එදා මම වෙල්යායේ ඉදන් ගමේ මහ ගෙදරට එද්දී පහුකරන් ආපු හැම සෙන්ටිමීටරයක්ම දැන් වෙනස් වෙලා. රැකියාව කරද්දී කොයිතරම් වාරයක් මාතර ගියත් මට ගමේ ගෙදරට ගිහින් එන්න නිදහසක් තිබුනෙ නැහැ. (ඇත්තෙන්ම උවමනාවක් තිබුණත් නිදහසක් නැහැ) කොයිතරම් යාන්ත්‍රික වෙලාද... වගකීම් දාහක් හිතේ තියන් යන්ත්‍රයක් වගේ වැඩ කලා.

ඒ හැමදේම කරලත් අද, මම(අපි) මට නොලැබුනු දේ මගේ(අපේ) දරුවට දෙන්න උත්සාහ කරනව. ඒ මගේ දරුවට කවදාවත් මම ඒ ලබපු අත්දැකිම් විදින්න ලැබෙන්නෙ නැහැ. මේක චක්ර්යක් වගේ මගේ පියා ලබපු දේ වලින් 1% වත් මම විදිල නැතුව ඇති. ඒ වගේම මම විදපු විදින අත්දැකීම් මගේ දරුවට ලැබෙන්නේ නැති තරම්, ලැබුනත් ඒ කොයිතරම් කෘතිමවද?

බොහොම දෙනෙක්ට තමන්ගේ ජීවිතේ සුන්දරම කාලේ තමාගේ පාසල් කාලය.... ඒත් මටනම්... මගේ සුන්දරම කාලය තමා මං ‍ගමේ ගතකරපු ජීවිතය...


~

8 comments:

  1. අපිට කොහෙන්ද ඉතින් එච්ච‍ර සුන්ද‍ර ලොකයක්

    ReplyDelete
  2. හ්ම්.. ඔයාට වගේ පොඩි කාලේ ඔහොම සුන්දර ගමක අත්දැකීම් නම් මට නෑ, .. ඒත් මම පොත් වලින්, එක එක වීඩියෝ වලින් ගමේ අසිරිය විඳලා තියෙනවා...

    ඒත් තාමත් අපි නොදියුණුයි කියන, දුප්පත් ගම්මාන වල ඔය කියන අසිරිය තියෙනවා නේද? ඒක ඒ මිනිස්සුන්ට අමාරු ජීවිතයක් උනත්, අහම්බෙන් යන අපිට ඒක අසිරියක්...

    ReplyDelete
  3. ගමෙන් සෑහෙන දුරක ඉන්න අයව උඹ හිතෙන් ගමට ගෙනියනව මේ ලිපියෙන් . . .

    ReplyDelete
  4. අපි හැමෝම මුල් ගැලවුන ගස් වගේ..

    ReplyDelete
  5. @ Naliya - දැන් ඒ ‍සුන්දරලෝකෙ මටවත් ආයෙ විදගන්න බෑ මචං

    ReplyDelete
  6. @ .::පිස්සා::. - සත්තකින්ම

    ReplyDelete
  7. @ දුකා - ස්තූතියි මචං

    ReplyDelete
  8. @ මාරයාගේ හෝරාව - ඇයි එහෙම වෙන්නේ මේ ලෝකෙ හැටිද ඒ?

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...