
මම කටාර් වලට ගොඩබහින වෙලාවේ මට මගෙන් ම අහන්න හිතුනා උඹ දෙපාරක් හිතලද මේ තීරණේ ගත්තේ කියල. ඒ කොහොම වුනත් ඒ වෙලාවේ තිබුණේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ එකක්. මම තේරුම්ගත්තා මේක තමා මට ගන්න තියන හොදම තීරණය කියල. ඒ නිසා හැමෝගෙම ආශිර්වාද, කදුලු අතරේ මම ඔන්න ආවා.
මේ රටේ ගුවන්තොටුපොලේ Terminal නැහැ. ඉස්සර ලංකාවේ ගුවන්තොටුපොලේ වගේ බස් එකක යන්න ඕනා පර්යන්තයට ඇතුල් වෙන්න. ඉතින් අපි කටාර් වලට ගොඩබැස්සේ හවස 6.30ට වගේ. ඔන්න අපි ගුවන් යානයෙන් එලියට ආවා. හිතාගන්න අධි ශීතකරනක ඉදන් අවන් එකකට දැම්මා වගේ...
මා එක්ක තව තුන්දෙනෙක් ආවා. අපි ඇදුම් බෑග් අරන් මේ නාදුනන රටට අඩිය තියද්දී අපිව පිලිගන්න අප සේවය කරන්න ආපු ආයතනයේ දෙදෙනක් ඇවිත් හිටියා. ඔවුන් ඉන්දියානුවන්. ඔවුන් අපේ ගුවන්ගමන් බලපත්‍රය අතට ගන්න එක තමා මුලින්ම කලේ. ඉන් පස්සේ අපිව වාහනයක දාගෙන අපේ අලුත් නවාතැන්පොලට ආවා (Al Maamoura) මේ නම් මතක තියාගන්න හරිම අමාරු වුනා... හැබැයි සතියක් යනකම් විතරයි.
අපේ අලුත් නවාතැන අපි එන්න කලින් ඉදුල් කරල තිබ්බේ තව දෙදෙනෙක් විතරයි. ඔවුන් මේ රටේ හොද අත්දැකීම් තියන ලංකාවේ අය. අපිව නම් කරකවල අත ඇරිය වගේ. කරන්න ඕනේ මොනවද, කරන්නේ මොනවද කියලත් පැහැදිලි නෑ අපිට ඒ වෙලාවේ...
මුලින්ම කලේ ගෙදරට කෝල් කරන එක. මට ඒ මොහොත දැනුත් සිහියට එනවා. වයිෆ්ගේ කටහඩ එහා කොනෙන් ඇහෙද්දී මගේ ඇස්වලට කදුලු ඉනුව. ඒත් ඒ දුක ඒ මොහොතේ පිටකලේ නැහැ. එහෙම කලා නම් මට ආයෙත් යන්න වෙනවා.
පහුවෙනිදා සිකුරාදා නිවාඩු දිනයක් ඉතින් අපි මේ උෂ්ණ රටේ ජිවිතය පටන් ගත්තා....
ගෙදරට අන්තර්ජාලේ අරගත්ත නිසා හොදට ගියා. කොමියුනිකේෂන් ප්‍රශ්ණ සියල්ල ඒකෙන් විසදුනා. දවසින් දවස ගත වුනා. අන්තිමේදී සිකුරාදාවක ඉදන් තවත් සිකුරාදාවක් කියන්නේ හරිම පොඩි කාලයක් වුනා.
මගේ ජීවිතේ තුන්වෙනි දශකයත් ගතවුනා. අවුරුද්දක් ඉවර වුනා. එදා මා එක්ක ආපු යාලුවො 4 දෙනාම තවමත් ඉන්නව.
ඒත් මගේ සොදුරු දියණියත්, මගේ ආදරණිය බිරිදත් ලග නැති ජීවිතේ සල්ලි කොයිතරම් තිබුණත් වැඩක් නෑ
තව බොහොම ටික කාලයයි ගතකරන්න හිතන් ඉන්නේ මේ රටේ. කාලය ඉක්මනට ගතවෙලා යාවි....