Wednesday, March 3, 2010

ඉතින් ආයුබෝවන්....!


දන්නෙම නැතිව අවුරුදු 2ක් ගෙවිලා ගිහින්. ( ඇත්තම කියනවනම් අවුරුද්දයි මාස 8ක්). යස ඉසුරු සොයන් මම මෙහේ ආපු හැටි ඔයාලට මතක ඇතිනේ. ඒ එද්දී මගේ හිතේ තිබුණා යම් ඉලක්කයක් මා සපුරාගත යුතු යයි සිතන. 100%ක්ම නැතත් මම ඒ ලගටම ආවා. නමුත් ඒ එක්කම තවත් ප්‍රශ්ණ වැලක් පැන නැගිලා. මට තේ‍රුණු විදියට මේක තමයි ජීවිතේ කියන්නේ අපට කිසිම ප්‍රශ්ණයක් ගැටලුවක් නැත්නම් කිසිම දෙයක් වෙන එකක් නැහැ.


ඒ කොහොම නමුත් මේ රටේ හිටපු කාලය තුලදී මම අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඇත්ත කතා කරන්න (ලංකාවේ ඉදිද්දී සෑහෙන්න බොරු කියවෙනවා, මිනිස්සුන්ට පැහැදිලි කරන්න වෙන විදියක් නැති වුනාම බොරු කියන්න වෙනවා), පිලිවෙලකට වැඩ කරන්න, මගේ අයිතිවාසිකම් මට ලබාගන්න, තට්ට තනියෙන් ඉන්ටර්නෙට් විතරක් ඇතිව කෑම පවා නොගෙන ජීවත්වෙන්න, අන්තර්ජාලයෙන් ලමයි නළවන්න,මෙකි නොකි දහසක් දේවල්.... කවුදෝ කිව්වා වගේ ඉගෙනීම නවති‍න්නේ මළ දවසට තමයි.


ඒ වගේමයි මම මේ ලියන හැම අකුරක්ම හරහා SBU එකට ස්තූතිවන්ත වෙනවා. සිංහල වලට මම මේ තරම් ආසයි කියලා මටම දැනුනේ මම බ්ලොග් කියවන්නත් ලියන්නත් පටන්ගත්තයින් පස්සෙ. දැනට අවුරුද්දකට කලින් පටන්ගත් ‍බ්ලොග් ලියවිල්ල අද වෙනකොට කොයි තරම් ඉදිරියට ඇවිත්ද කොයිතරම් දියුණු වෙලාද කියලා මට පේනවා. මං මීට පෙර කොයිතරම් අන්තර් ජාලයේ සමාජ ජාලයන් වල සැරිසැරුවත් මේ තරම් සංවිධානාත්මක, තමන්ගේ අරමුණ කරාම නොසැලී යන, දිනෙන් දින දියුණුවෙන එකම සංසදය, සමාජ ජාලය SBU එක පමණයි.මෙයින් මා ඉගෙන ගත් දේ බොහෝයි. බොහෝ විට මම නම් සංසදයට මුල්දින වල ආවේ ලංකාවේ යාලුවො නැති පාලුව නැතිකරගන්න වුනත් එයින් ඔබ්බට මට යම්දෙයකට දායක වෙලා ඉගෙනගෙන, ඒක විදින්න ලැබුනා කිව්වොත් නිවැරදියි. ඒ වගේමයි කිසි දිනක නොදුටු බොහොම සුන්දර, උගත් නියම මිතුරන් රැසක් මට ලැබුනා.


පිටරට ඉදිද්දී දැනෙන මට දැනුන ලොකුම පාලුව ගෙදර අයගෙන් ආදරණිය බිරිදගෙන් දරුවගෙන් ඇත්වෙලා ඉන්න එක. ලංකාවෙදී කොහොම හිතුනත් ඒක සෑහෙන්න බලපානවා රට ආවාම. ඔබ පිටරටකට යනවානම් ටික කලකට හෝ යමෙක්ගෙන් යැපෙන්න බලා පොරොත්තු වෙන්න එපා. ඒ වගේමයි උපයන මුදල් මේ ‍රටේදීම වැයකරන්න තියෙන අවස්ථා එමටයි. හැබැයි ඔබගේ මුලික පරමාර්ථය අමතක කරන්න එපා (කාලිංගට SBU අමතක නොවෙනව වගේ !)


ඉතින් දැන් වැලිකතරට ආයුබෝවන් කියලා යන්න වෙලාව හරි. ලංකාවෙන් එද්දී මගේ බලාපොරොත්තු අවම කරන් ආපු නිසා හිතේ කිසිම දුකක් නැතිව මම ආයෙත් ලංකාවට යනවා. මං ඉපදුනු ඒ රට කොයිතරම් සුන්දරද කියලා අපේ බ්ලොග් අවකා‍ශයේ පිටරට ඉන්න මිතුරන් හොදින්ම දන්නවා. ඉතින් ආයෙත් ඒ සුන්දර රටට පයගහන්න මට තියෙන්නේ තව පැය කීපයක් විතරයි. වැලිකතරේ ආයෙත් ලියවෙන එකක් නැහැ. ඒ මම හෙට ඉදන් ඉන්නේ වැලිකතර‍ක නොවෙන නිසා... මේ බ්ලොග් එකේ නොයෙකුත් විදියේ ලිපි ලියවුනා. ඒ ලිපි වලට මට ලැබුනු ප්‍රතිචාර මාව දිරිමත් කලා. ඉතින් වැලිකතරට මෙතුවක් කල් ප්‍රතිචාර දුන්, මගේ බ්ලොග් හැමදාමත් කියවපු, මා පසුපස හඹා ආ, පෞද්ගලිකවම මාව සම්බන්ධකරගෙන යාලුවො වුනු ඔබ සැමට ස්තූතියි.


එහෙනම් ආයෙත් SBU බ්ලොග් අවකාශයේ හමුවෙන තුරු ඔබට ආයුබෝවන් !


(කරන්න වෙන වැඩක් නැත්නම් මෙතනට ගිහින් ඔලුව අවුල්කරගන්න)


මෙන්න මටම හරියන සිංදුවකුත් ලැබුණා.



කාලිංග, ඉන්ද්‍රනාම (තාක්ෂණික), සහ දුකා(මානසික) කල උදව් විශේෂයෙන් මතක් කරමි.

~

Tuesday, February 23, 2010

නොබැලූ ලියුම


ආදරණීය අම්මේ, තාත්තේ

මේ ලිපිය ලියන අද මම මැදපෙරදිග වසර පහක් සම්පූර්ණ කරනවා. ලබන මාසෙ ගෙදර එන්නයි හිතන් ඉන්නෙ. කලින් නිවාඩුවට ගෙදර එද්දී වෙච්චි ණය ඔක්කොම ගෙවලා ඉවරයි. මේ නිවාඩුවත් එක්ක මම ගෙදර නවතින්නයි හිතන් ඉන්නෙ. මම ආයෙත් මෙහෙ එන්න අදහසක් නැහැ. මට හොද විශ්වාසක් තියෙනවා මට ලංකාවෙ හොද රස්සාවක් කරන් ඉන්න පුලුවන් වෙයි කියලා.

මේ ගැන ඔයාලත් අදහස් කියන්න.

මීට ආදරණීය,
පුතා.

+++++++++++++++++++++++++++++++++++++++
ආදරණීය පුතේ,

අපට ඔබේ ලිපිය ලැබුණා. ගොඩක් සතුටු වෙනවා ඔයා නිවාඩුවට එන එක ගැන. ඉතිරිය අම්මා ලියාවි. පුතේ, ඔයා දන්නවද අපේ ඉන්න ගෙදර තත්වයනම් බොහොම නරකයි. වැස්ස කාලෙට ගේ ඇතුලෙ ඉන්න තැනක් නැති තරම්. හැමතැනම තෙමෙනවා. වහලය අලුතින්ම හදන්න වෙයි මේ කාලේ ලී වල ගණන් හැටියට ඒක අපිට දරාගන්න බැහැ. හැමෝම කියන්නේ කොන්ක්‍රිට් දාලා උඩ තට්ටුවත් හදන්න කියලා. හරියට ගෙයක් නැතිව මොනව කරත් වැඩක් නැහැ. ඔය රස්සාව නවත්තලා මෙහෙ ඇවිත් ලැබෙන සොච්චම් පඩියෙන් කොන්ක්‍රිට් දාලා ගෙයක් හදන්න පුලුවන් වෙයිද? මම මේක කිව්වෙ ඔයාට මතක් කරන්න. පුතා හොද දෙයක් බලලා තීරණය කරන්න.

ඔබේ ආදරණීය

අම්මා.

+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++

ආදරණීය අම්මේ,

ඔන්න මේ කාන්තාරෙ අවුරුදු දහයක්ම ගතවෙලා අදට. ලබන මාසේ ගෙදර එන්නයි හිතන් ඉන්නෙ. ගේත් හදලා ඉවරනෙ, ඒ‍කට ගත්ත ණය ඔක්කොමත් ගෙවලා ඉවරයි. මේ සැරේනම් ගෙදර ඇවිත් නවතින්න හිතන් ඉන්නෙ. ත්‍රීවීල් එකක් හරි හයර් කරලා ගෙදර වියදම පියවගන්නයි හිතන් ඉන්නෙ. දැන්නම් මෙහෙ ඉදලා එපා වෙලා. මගේ ලමයි එක්ක සතුටෙන් ඉන්න තමයි අදහස.

මේ ගැන ඔයාලගෙත් අදහස් කියන්න.

මීට ආදරණිය
පුතා.

+++++++++++++++++++++++++++++++++++++++

ආදරණීය පුතේ,

ඔයාගේ ලියුම කියෙව්වම හරිම දුක හිතුනා. මගේ පුතා අපි වෙනුවෙන් පොඩි කාලේ ඉදන්ම දුක් වින්දා. මම මේ මතක් කරන්නමයි හිටියෙ ඔයාගේ නංගී දැන් කසාද බන්දලා දෙන්න වයසත් හරි. එයා බන්දල දුන්න නම් මගේ හිතත් නිදහස්. මම මැරෙන්න කලින් එයත් බැදල ඉන්නව දකින්න ආසයි. වැරදියට ගන්න එපා ඒ ගැනත් හිතල බලන්න. ඔයාම තීරණය කරන්න.

මීට
අම්මා.


+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++

ආදරණීය ස????(බිරිද)

අවුරුදු 14ක් ම ගෙවිලා ඉවරයි. දැන්නම් මට මෙහේ තිත්ත වෙලා. තවත් නම් මෙහෙ ඉන්න බැහැ. මගේ වීසා එකත් කැන්සල් කරගෙනම එන්නයි හිතන් ඉන්නෙ. නංගීගේ කසාදයත් හිතන් හිටියටත් වඩා හොදට වුණා. ඒකට ගත්ත ණය ඔක්කොමත් ගෙවලා ඉවරයි. මම මෙහේ වුණු ණයත් ඔක්කොම ගෙවලා ඉවරයි.

ලංකාවට ඇවිත් මොනවා හරි රස්සාවක් කරන්න ඉන්නවා. දැන්නම් බර වැඩ කරන්නත් ආමාරුයි. අධික රුධිර පීඩනයයි දියවැඩියාවයි දෙකම ඇවිත්. ගන්න පඩියෙන් බාගෙකට වඩා බේත් වලට යනවා. ලංකා‍වට ඇවිත් බේත් කරානම් හොදයි.

මීට
ජ????(සැමියා)


++++++++++++++++++++++++++++++++++++++

ආදරණිය ජ????(සැමියා)

ඔයාගේ ලියුම කියවලා මගේ ඇස් වලට කදුලු ආවා. ඔයානම් ආයෙත් රට යන්න එපා. අපි බැන්දයින් පස්සෙ මෙච්චර කාලෙකට මම ඔයාගෙන් කිසි දෙයක් ඉල්ලලා නැහැ. එත් දැන් මට ඔයාගෙන් දෙයක් ඉල්ලන තියෙනවා. ඔයාලගේ අයියා බැන්දයින් පස්සෙ අම්මා සෑහෙන්න වෙනස් වෙලා. එයාලගෙ පැත්ත අරන්. ඒවගේමයි මම අහගෙන මේ ගේ අයියලට ලියල දෙන්න යනවලු. එහෙම වුනොත් මේ දරුවයි මමයි ඉන්නේ කොහෙද, අපිට යන්න තැනක් නැහැ. ඔයාට පුලුවන්නම් අපේම කියලා ගෙයක් හදාගමු. ඔයා දන්නවනේ දැන් සිමෙන්ති, යකඩ බාස් කුලී කොයිතරම් ගණන් ද කියලා. මම මගේ හිතේ තියන දුක කිව්වේ ඔයාත් හිතලා බලන්න.

මීට ආදරණීය
ස????(බිරිද)


+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++

ආදරණීය ස????(බිරිද)

අවුරුදු 19ක්ම ගතවුනා. හිතාගන්නත් බැහැ මෙච්චරකල් හිටියද කියලත් තනියම මෙහේ. කොහොම හරි අපේ ගේත් හදලා ඉවරකරගත්තා. ඒකත් ලොකු දෙයක් නේ. තවත් නම් වැඩකරන්න බැහැ. මම රස්සාවෙන් අයින් වෙන්න කාලේ හරි. අස්වෙනවත් එක්ක ම‍ගේ අතට ලැබෙන මුදලත් හිතන් හිටියට ව‍ඩා අඩු ගානක්. මොනවා කරන්නද, අනික් අයටත් මීට වඩා සලකන්න තිබුනා ටිකක් වැඩිපුර ලැබෙනව නම්. කොහොම හරි මම යමක් කරගත්තනේ ඒ ගැන සතුටුයි. හැබැයි පවුල් ජීවිතයක් තිබුණෙම නැහැනෙ. මම අස්වෙලා ඇවිත් ලමයි, ඔයා, එක්ක ජිවත් වෙන්න ඕනෙ. මේ සැරේ නම් අස් වෙලා තමයි එන්නෙ.

මීට
ජ????(සැමියා)


+++++++++++++++++++++++++++++++++++++++

ආදරණීය ජ????(සැමියා)

ඔයාගේ ලියුම කියෙව්වයින් පස්සේ මම ගොඩක් සතුටුවුණා පරක්කු වෙලා හරි ඔය රස්සාව අත ඇරල එන්න ඔයා ගත්තු තීරණය ගැන. ඒත් පුතා කියනවා එයාට කොම්පියුටර් ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙනගන්න ඔනෙලු. පලවෙනි අවුරුද්දෙ ලක්ෂ හතරයි, ඉන් පස්සේ ලක්ෂ තුන ගානේ අවුරුදු දෙකක්. එකපාරම ඔක්කොම සල්ලි ගෙවන්න ඕනෙ නැහැ. කොටස් වශයෙන් ගෙවන්න පුලුවන්. ලංකාවේ හොදම කොම්පියුටර් ඉංජිනේරුවො ඉගෙන ගෙන තියෙන්නේ ඒකේ. මේ මාසේ 30ට කලින් රෙජිස්ටර් වෙන්න ඕනෙලු.

ළමයගේ අනාගතේ ගැන හිතලා ඉක්මනින් පිලිතුරක් එවන්න.

මීට,
ස????(බිරිද)


+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++

ඉතින් ඔහු තමන්ගේ පුතාගේ අධ්‍යපනය වෙනුවෙනුත් දුවගේ විවාහ මංගල්‍යය වෙනුවෙනුත් අවුරුදු කීපයක් වැය කරලා අවුරුදු 27කට පස්සේ තමන්ගේ ප්‍රතිලාභ විදියට දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ කොන්දෙ අමාරුව කරපින්නගෙන රැකියාවෙන් අස්වෙලා ගුවන් තොටුපලට යන ගමන්, නිකමට වගේ තමන්ගේ කලිසම් සාක්කුවට අත දාද්දී අහුවුනා ඊයෙ පෙරේදාවක බිරිද එවපු ලිපියක්.

ඒක තවමත් කඩලා නැහැ......

ඔහු ඒක අතට අරන් නොකඩාම ආයෙත් දෙකට නවලා සාක්කුවට දාගත්තා.

ඒ ලියුම තමා ඔහුගේ මැදපෙරදිග ජීවිතේ ඔහු නොකියවූ එකම ලියුම...

පිංතූරය මෙතැනින්  http://www.franchisefacts.biz/iStock_frustrated_man_worker.JPG

ගල්ෆ් රේඩියෝ වැඩසටහනකින් ආශ්‍රයෙන් කරන ලද අසංක්ෂිප්ත පරිවර්තනයකි

~

Saturday, January 30, 2010

ලිකර් චොකලට් සහ අනංමනං

ඕන් ආයෙත් කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තෙ ආවා. පහුගිය දවස් ටිකේ ඡන්ද හරඹ බල බල හිටියා මිසක් බ්ලොග් සටහනක් ලියන්නවත් බැරි වුනා. කොහොම හරි මේ වාරේ මගේ ඡන්දෙ දාන්නත් බැරි වුණා.

පහුගිය දවස්වල සිද්ධ වුනු හොදම දෙයක් තමයි ලිකර් චොකලට් කෑම. අහම්බෙන් සෙට් වුනු යාලුවෙක් දුන්න මේ චොකලට් එක මොකක්ද කියල කිව්වෙ නෑ. මමත් ඔහේ කටේ දාගත්තා එක පෙත්තක්. කටේ ඒක දියවෙද්දී තමා රහස එලි වුනේ. මැද්දේ සීනි වලින් වටවුනු Cognac ! ! ! (මට අපේ කන බොන සෙට් එක සිහිවුනා..!) මගේ කට මොකක්ද වුනා වගේ ඒත් පැණිරස චොකලට් නිසා අමුතුම රසයක් දැනුනා. ඒක එපා වෙන එකක් නෙමෙයි. නොබොන අයටයි මුස්ලිම් අයටයි දීලා පොඩි ජොලියක් ගත්තා. හැබැයි ඉතින් පදමකට එන්න නම් මෙයින් චොකලට් පැකට් 2ක් වත් කන්න වෙයි. කවදාවත් මේ ජාතියෙ චොකලට් පෙත්තක් ලොකු වැඩිවගේ නිසා දෙකට කඩන්න නම් යන්න එපා. හරිම අපරාධයක් වෙන්නෙ. මෙන්න මෙතන ඒවා හදන හැටිත් තියෙනවා.


පහුගිය දවස්වල පැවැත්වුනු Qatar Rally එකේ පිංතූර තමයි මේ. ලොකුවට දැම්මට මටත් මේ ඉවෙන්ට් එක හැබහින් බලන්න යන්න බැරි වුනා.





.......................................................................................................

Windows 7 OEM කොපියක් ලැබුණා. තවම ස්ථාපනය කලේ නැහැ. බලමු ඒකත් දාලා...


........................................................................................................
සීතල නම් උපරිමයි ඒවගේමයි හුලගත්. හවස්කාලෙට එලියට බහිනව බොරු. තොල් පිපිරිලා, හම වේලිලා, සෙම ඇවිස්සිලා ලෙඩ ගොඩයි. හැමදාමත් රස්නෙම තියෙනවනම් හොදයි කියලා හිතෙන්නේ මේ වෙලාවට...


~

Friday, January 8, 2010

ගෙදරින් පිට තවත් අවුරුද්දක් ඇරඹිලා...

පහුගිය දවස්වල තිබුණු වැඩ සහ ලෙඩ කන්දරාව නිසා බ්ලොග් සටහනක් දාන්නත් බැරිවුනා. ඒත් හැම වෙලෙම SBU එකනම් කියෙව්වා. කොමෙන්ට්ස් දැම්මා.


පහුගිය අවුරුද්දෙ ජනවාරි පලවෙනිදාට වඩා මේ අවුරුද්දෙ පලවෙනිදා සෑහෙන්න වෙනස්. මොකද අපිත් එක්ක හිටපු යාලුවො ගොඩදෙනෙක් ආයෙත් ගිහින් ලංකාවට. ඒ අතරෙ මේ කාන්‍තාරෙ මේ දවස්වල හරිම සීතලයි. අලි මදිවට කොටි වගේ මට අවුරුද්දකට පස්සේ උණ හෙම්බිරිස්සාව හැදුනා. දන්නවනේ කියල වැඩක් නෑ. හොදම වැඩේ මම දැන් ඉන්න නවාතැනේ එකම ලාංකිකයෙක් වත් නැහැ. උණ විකාරෙන් බොහොම අමාරුවෙන් ගිහින් බේත් ටිකක් ගත්තා. දැන්නම් සෑහෙන්න හොදයි.
  
ඉතින් හැම අලුත් අවුරුද්දකදි වගේම 2010ත් බලාපොරොත්තු ගොඩගැහිලා. හැම දේටම වඩා වැදගත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ගැන ලගදීම ලියන්නම්...!



Monday, December 14, 2009

මට ගමට යන්න... කුරුලු පිහාටුවක්...


 මං ආයෙත් අතීතෙට ගියා. 1980 ගණන් වල අම්මයි මායි තාත්තයි මාතර යනව මට යන්තම් මතකයි. ලංගම බස් එකක්. ඒත් මම හරි ආසයි බස් එකේ යන්න ඒ දවස්වල. ගමේ නැන්දලා මාමලා මාව පිලිගන්නේ හරිම හරසරින්. මං කන්න ආසම කිරිපැණි නොවැරදීම ලැබෙනවා එහෙ ගියාම.

ඒ දවස්වල අපේ සීයත් හිටියෙ මාතර. සීයා මා එක්ක වෙලට යනවා සමහර හැන්දෑවල. ඉර බැහැගෙන යද්දී ගොයම් කපපු වෙල් එලියේ මම සෙල්ලම් කලා. සීයා එක්ක ඔරු පැද්දා. කලුමාමා එක්ක දං කඩන්න ගියා. බෝවිටියා කැඩුවා. දවසක් එහෙම ගිහින් මහ වැස්සකට කොටුවෙලා බකිනි ගහක් යට තෙමි තෙමි හිටියා මට හොදට මතකයි. ගොයම් කපලා වේලිච්ච කුඹුරට වැටුනු වැහි පොද නිසා ආපු නැවුම් සුවද.... මේවා නිකන් හිතින් මවා ගත්ත ඒවා නෙමෙයි. මගේම අත්දැකීම්...

වයස අවුරුදු 13-14 වෙද්දී මං පාසල් නිවාඩු කාලෙම ඉන්නෙ ගමේ. මට ගමේ වෙනමම යාලුවො රොත්තක් හිටියා. ඇත්තටම ඒ යාලුවො කොලඹදී මට හම්බවුනු යාලුවන්ට වඩා සෑහෙන්න වෙනස්. කොලඹ යාලුවො ප්ලාස්ටික් නලා පිඹිද්දී ගමේ යාලුවො මට ගොයම් ගස් වලින් නලා හදලා දුන්නා. ඒ නලාවෙන් ආපු සද්දේ කොලඹ නලාවෙන් එන සද්දෙට වඩා හරිම ලස්සනයි. කාලය වේගයෙන් ගතවුනා. ටිකෙන් ටික නිවාඩුවට ගමේ යාමත් නැති වෙලා ගියා. හැම දෙයක්ම සංකීර්ණ වුනා. අන්තිමේදී රැකියාව කරන්න ගත්තම ගමත් මගේත් අතර තිබුණු ඒ සම්බන්දය වියලිලාම ගියා.

එදා මම වෙල්යායේ ඉදන් ගමේ මහ ගෙදරට එද්දී පහුකරන් ආපු හැම සෙන්ටිමීටරයක්ම දැන් වෙනස් වෙලා. රැකියාව කරද්දී කොයිතරම් වාරයක් මාතර ගියත් මට ගමේ ගෙදරට ගිහින් එන්න නිදහසක් තිබුනෙ නැහැ. (ඇත්තෙන්ම උවමනාවක් තිබුණත් නිදහසක් නැහැ) කොයිතරම් යාන්ත්‍රික වෙලාද... වගකීම් දාහක් හිතේ තියන් යන්ත්‍රයක් වගේ වැඩ කලා.

ඒ හැමදේම කරලත් අද, මම(අපි) මට නොලැබුනු දේ මගේ(අපේ) දරුවට දෙන්න උත්සාහ කරනව. ඒ මගේ දරුවට කවදාවත් මම ඒ ලබපු අත්දැකිම් විදින්න ලැබෙන්නෙ නැහැ. මේක චක්ර්යක් වගේ මගේ පියා ලබපු දේ වලින් 1% වත් මම විදිල නැතුව ඇති. ඒ වගේම මම විදපු විදින අත්දැකීම් මගේ දරුවට ලැබෙන්නේ නැති තරම්, ලැබුනත් ඒ කොයිතරම් කෘතිමවද?

බොහොම දෙනෙක්ට තමන්ගේ ජීවිතේ සුන්දරම කාලේ තමාගේ පාසල් කාලය.... ඒත් මටනම්... මගේ සුන්දරම කාලය තමා මං ‍ගමේ ගතකරපු ජීවිතය...


~